අප පිළිබඳව

තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්මය හා විනය
විවෘතවූයේ බබලයි. වැසුනේ නොම බබළයි


සූත්‍ර පිටකය : අංගුත්තර නිකාය : තිකනිපාතය : භරණ්ඩු වර්ගය : 9 සූත්‍රය

 

          සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේලාගේ පරිනිර්වානයන් ගෙන් පසුව ක්‍රමයෙන් ලෞකික අරුත් ගනිමින්, අර්ථ විපරීත වෙමින්, විනාශය කරා ගමන් කළ පිරිසිදු බෞද්ධ ධර්මය නැවැතත් ආර්යය අරුතින් පූර්ණව, ලෝසතුන්ගේ වැඩ සඳහා ප්‍රකට වන යුගයක් උදා වෙමින් පවතින බවට ලකුනු පෙනේ. ලෝකයේ යථා ධර්මතාවයට අනුකූලව නැවත විවෘතව බබලන මේ උතුම් වූ ආර්ය ධර්මය, වඩ වඩාත් මහජනතාව අතට පත් කිරීම තුළින් ඔවුනට නිවන් මග පෙන්වා දීම, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මෙම අඩවි කර්තෘ මණ්ඩලයේ අභිලාෂයයි.

         දීර්ඝ කාලයක් තිස්සේ සැඟවගොස් තිබූ පද නිරුක්ති ක්‍රමවේදය නැවැත භාවිතයට පැමිණීම තුළින් යළි මතු වන දහම් අරැත් දැක ගැනීමට මෙම අන්තර්ජාල අඩවිය තුළින් ඔබට අවස්ථාව ලැබෙනු ඇත. ඒවා ඔබේ නුවණින්ම විමසා බැලීම පිණිසය.

 

 

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය, වහරක අරිය චින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානයේ  වැඩසිටිති.

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ

 

       කුඩා කල සිටම ධර්ම ගවේශනයේ නියැළුනු අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ එහි ප්‍රතිඵලයක් ලෙස භවය ක්ෂය කරන භික්ෂු ශාසනයට ඇතුළත් වූහ. දීර්ඝ කාලයක් තිස්සේ සැඟවගොස් තිබූ නිර්මල බුදු දහමේ සත්‍ය අරුත්, තමන් ලද ඤාණයන් තුළින් ඉස්මතුකොට, ලෝ සතුන් කෙරෙහි දයානුකම්පාව පෙරදැරිව ඔවුන් හට බෙදා දීමේ උතුම් කාර්යයෙහි මේ වනවිට උන්වහන්සේ නියැලී සිටිති. උන්වහන්සේගේ දේශනා තුළින් බුදු දහමේ ගැඹුරු එහෙත් සුපැහැදිලි බව මොනවට පසක් වෙයි. බුද්ධ දේශනාව අනුව යමින්, ජනපද නිරුක්තිය අත්නොහැර සරල ගැමි උදාහරණ උපයෝගී කො ට ගනිමින් විවර කරන දහම් මග ශ්‍රාවකයාගේ නුවණින් විමසා බැලීම පිණිසය.
  උන්වහන්සේ උපත ලැබුවේ 1950 ජූලි මස 10 වන දින වහරක ගෝනගල්දෙණිය ග්‍රාමයේදීය. දිගු කලක් ගිහියෙකු ලෙස ලෝකයේ යථාර්ථය සොයා ගිය උන්වහන්සේ, ඒ කාලය තුළ මහජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර යන අංශ දෙකෙහිම අභිවෘද්ධිය උදෙසා කළ සේවය අතිමහත්ය. එහෙත් ගිහි ජීවිතය තුළදී, තමා සොයා යන නිවීමට බාධා ඇති බව දත්තේ : අවසානයේ තමන්ට හිමිව තිබූ භූමිය, දේපල සහ සියල්ලම, සාශනාභිවෘද්ධිය වෙනුවෙන් කැප කරමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. අද අරිය චින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානය ගොඩනංවා ඇත්තේ එම පුණ්‍ය භූමිය තුළය.

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් ඉස්මතුකොට පෙන්වා දුන් ධර්මානුකූල ක්‍රම වේදයන් අනුගමනය කිරීම තුළින් සත්‍ය ප්‍රතිඵල ලද්දෝ සිය දහස් ගනණකි. මෙම අන්තර්ජාල අඩවිය තුළින් ප්‍රකාශිත කරුණු අනුගමනය කිරීමෙන්ද, අරිය චිත්තාශ්‍රමයට පැමිණ සදහම් වැඩසටහන්වලට සහභාගී වීම තුළින්ද ඔබටත් මේ උසස් ප්‍රතිඵල ලබා ගැනීමට අවකාශ තිබේ.

තවතවත් ලෝ සතුන්ගේ නිවන් මගට වැඩ සලසා  දීම සඳහා  අවශ්‍ය සියලු දේ, උන්වහන්සේ හට ලැබේවායි අධිෂ්ඨාන කරමු.

     
       දහම් මග යන පිරිසෙහි අභිවෘද්ධිය අරමුණු කොට, විහාරස්ථානය තුළ සදහම් වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ එම කාල වේලාවන්හිදී හමුවිය හැකිය. වැඩසටහන් පවත්වන වේලාව වැඩසටහන් සම්බන්ධය තුළින් දැන ගත හැක.
විහාරස්ථානය දක්වා ගමන් මාර්ගය.

 


   
විහාරස්ථානයේ සංකේතය
 

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ සමාධිගතව සිටින මොහොතක මතුවූ දහම් අදහසකට අනුව විහාරස්ථානයේ සංකේතය නිර්මාණය කොට තිබේ.

නෙළුම් මල්
යන්නෙහි පද නිරුක්තිය නෙලූ + උම ලෙස වෙයි. උම යනුවෙන් හඳුන්වන්නේ මවයි. ආර්යයන්ගේ මව නම් අමා මෑණියන් හෙවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේයි. එනයින් නෙළුම් මල් හතරෙන් නිරූපනය වන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යන ඵල හතරයි.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ උතුම්වූ ක්‍රම‍ෙව්දය අනුගමනය කිරීමෙන් නිවනේ දොරටූ විවර වෙයි. එතෙක් වන ඵල හතරෙන් අවිද්‍යාවේ අවස්ථා හතරක් බිඳ හරියි. යතුරු හතරෙන් නිරූපනය වන්නේ එයයි.

ධර්ම චක්‍රය
අටලෝ දහමින් කම්පා නොවන ගමනක් පෙන්නුම් කරයි. එය අරිහත් ඵලයෙන් පසු පිරිනිවන් පානා තෙක් අරිහතුන් වහන්සේගේ ස්වභාවයයි. චක්‍රයේ දැති නැති බවින් පෙන්වන්නේ දුක්ඛ නිරෝධය කරගන්නා උතුම් පුද්ගලයාගේ අකම්ප්‍ය හෙවත් ශාන්ත භාවයයි ( සෝපදිසේස නිර්වාන ධාතුව ).

ඇතුළත ඇති ගරාදි අට ආර්ය අෂඨාංගික මාර්ගය නිරූපනය කොට සිටි.